ලංකාවේ සමහර තාත්තලා තමන්ගේ දරුවන් වෙනුවෙන් විනාඩි පහක්වත් වැය කරන්නේ නැතැයි ජනාධිපතිතුමා දොස් කියා තිබුනේය. ඒක වැරදිය. මම වැරදිය කිව්වේ ජනාධිපතිතුමාගේ කතාව නොවේය. එතුමා කවදාක්වත් වැරදි කතා කියන්නේ නැත. වැරැදියැයි කිව්වේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකරන එකය. එහෙම හොඳ නැත. දරුවන් වෙනුවෙන් කාලය වැය කරන්ට ඕනෑය.ඒකට හොඳම ආදර්ශය අපේ ජනාධිපති තුමාය.එතුමා තමන්ගේ දරුවන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය ශක්තිය පමණක් නොව රටේම එව්වා යොදවන්නේ සැබෑ දාරක ප්‍රේමය නිසාය. පුතු සෙනෙහේ සම් මස් නහර විද ඇට මිදුළු තුලටම යන බව සරච්චන්ද්‍ර උන්නැහේ කිව්වේ මේ බව දැන ගෙන වෙන්ට ඕනෑය.
දැන් බලන්ට , ලොකු පුතා පාර්ලිමේන්තුවට අරගෙන ඇවිත් නීතිඥයෙක් කරලා දැම්මේය. තව ටික දවසකින් උප ඇමතිකමකුත් , ඊලඟට ඇමතිකමකුත් , ඊටත් පස්සේ අගමැති කමත් දී අනාගතයේ ජනාධිපති කමට යන්ට පාර හදා දී ඇතිය. දරුවන්ට ආදරේ තාත්තලා එහෙමය.
දෙවැනි පුතා නාවික හමුදාවට දමා රට ජාතිය වෙනුවෙන් සටන කරන වීරයෙක් බවට පත් කලේය. අනාගතයේ එතුමා රටේ ආරක්ෂාව බාර අරගෙන සිටිනු ඇතිය. යුද්ධය තියෙන කාලයේ ඒ කුමාරයා හිටියේ එංගලන්තයේ බවට හොටු කොල්ලන් කියන කතාවලින් වැඩක් නැත. පුහුණු නොවී යුද්ධ කරන්නේ කොහොමද? අවාසනාවට එතුමා පුහුණු වී ආපහු එනකොට යුද්දය ඉවරය. නැත්නම් කොටින්ට හැංගෙන්න වෙන්නේ මුහුද යටය.
අවසාන වශයෙන් තුන්වැනි පුතාට කාර් රේස් පදිමින් , රගර් ගහමින් , සංගීත වල යමින් ආතල් එකේ ඉන්ට වැඩ සැලස්වූයේ මේ තාත්තා නොවේද? පුතාට රේස් පදින්ට පාරවල් වසා දෙන්නේ වෙන මොන තාත්තාද? ඒ විතරක්ද? පුතාලාට වෙනම ටී වී චැනල් එකක් හදා දී රටේ ක්‍රීඩා විකාශ ඔක්කොම ඒකට එන විදියට වැඩේ කර ඇතිය.
ඇත්තටම මේ වගේ තාත්තලා ලබන්ට පිං කොරන්ට ඕනෑය.
ඒකට රටේ ඉන්න අනිත් තාත්තලා. උන් දරුවන් ගැන මෙලෝ මගුලක් බලන්නේ නැත. අඩුම තරමේ විනාඩි පහක්වත් බලන්නේ නැත.
ඔය සමහර තාත්තලා වැඩට යන්ට ගෙදරින් පිට වෙන්නෙ පාන්දර දෙකට තුනටය. බස් එකෙන් ගිහින් කෝච්චියෙන් ගිහින් කොලඹ වැඩට යන්නේ එක්කෝ ගාල්ල මාතර ඉඳලාය. නැත්නම් නුවර ඉඳලාය. ඊට පස්සේ 4 ට වැඩ ඇරී ගෙදර යන්නේ නැත. තව පැය දෙක තුනක් අතිකාල වැඩය. මුන් ගෙදර ගොහින් ලමයින් වෙනුවෙන් කාලය වැය කරන්නේ නැතිය. හතරට ඕෆ් වුනත් කෝච්චියේ බස් එකේ ගෙදර යන කොට රෑ දහය එකොලහ වෙනවාය.
ඒ විතරක් නොවේය. මෙයාල සෙනසුරාදා ඉරිදාත් වැඩ කරනවාය. ඕටී කරනවාය. ඕටී නැති සමහරු බුකී වල පවා වැඩ කරනවාය. තව සමහරු සතියේ දවස් හතේම කුලී වැඩ කර කර ඉන්නවා මිස දරුවෝ ගැන එක විනාඩි පහක් හොයන්නේ බලන්නේ නැත. මාර තාත්තලාය.
මෙහෙම දරුවෝ ගැන බලන්නේ නැතිවා මදිවට මෙයාලා ඒකටත් බනින්නේ ආන්ඩුවටය. බඩු මිල වැඩිය.පඩි මදිය. ඕටී කරනට වෙන්නේ ඒ නිසාය. බඩු මිල වැඩි වෙන්නේ බදු වැඩි නිසාය. බදු වැඩි කර ඇත්තේ පුතාලට කාර් රේස් පදින්ට සල්ලි හොයන්ටය ආදි වශයෙනි.
අම්මපා මේ අවනඩු කාට කියන්ටද?





කීකර බලු කුක්කා පැබ්ලෝ
/ ජනවාරි 18, 2012රේස් පදින්නට මුදල් උවමනා නැත. මුදල් ඇති නිසා රේස් පදිනවාය.
බඩුවල බදු වැඩි කරන්නේ මිනිසුන් ළග සල්ලි වැඩි නිසාය. සල්ලි වැඩියෙන් ඇත්තේ ඕ.ටී. කරන නිසාය. ඕ. ටී නොකර හිටියාම සල්ලි වැඩිවන්නේත් නැත. සල්ලි වැඩියෙන් නැති විට බදු වැඩිවන්නේත් නැත. එතකොට ඔය දුප්පත් ආඩම්බරකාර තාත්තලාගේ පුත්තු රේස් පදින්නේත් නැත.
bandaraUSA
/ ජනවාරි 18, 2012වරප‍්‍රසාද අහිමි පෙලැන්තිය පාලකයන්ට වෛර කරති.
ජයශ්‍රී
/ ජනවාරි 18, 2012වරප‍්‍රසාද හිමි පාලකයෝ , පරමාධිපත්‍යය හිමි ජනතාවට සිනහ වෙති!
බස්සා
/ ජනවාරි 20, 2012මේ තාත්තා අනෙක් තාත්ලාට වඩා ගොඩක් හොඳය තම දරැවන්ට පමනක් නොව තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙ දරුවන්ටද සලකන අපුර්ව පියෙකි.. රටේම දරුවන්ගේ ආඩම්බරකාර තාත්තා ගේ හැටි එසේය…..
මෙකත් බෙදාගන්න කියලා හිතුවා…. ටික කාලෙකට උඩදී මගේ අතින් ලියවුනු මේකට සම්බන්ධයක් තියන ලිපියක්…
http://jbasnayaka.blogspot.com/2011/11/2030.html